
(මනෝප්රිය ගුණසේකර)
මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් අද (07) බාර දෙන ලදී.
ඉන් අනතුරුව රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ලබාගැනීමටද නියම කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට අමතරව අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි මහත්මිය සහ කීර්ති බණ්ඩාර කොටගම මහතාටයි.
2023 නොවැම්බර් 27 වැනිදාත් 2024 මැයි 29 වැනිදාත් අතර කාලය තුළ මහවැලි අධිකාරියට අයත් සෙවණගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී පසුගිය අරගල සමයේ විනාශයට පත්කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 88,50,000/-ක වන්දියක් ගබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ විග්රහ කෙරෙන වරදක් කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ජුනි 19 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා 10 ක් යටතේ නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා නඩු විභාගයේදී සාක්කිකරුවන් 30 දෙනකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී මීට පෙර අධිකරණයෙන් කර තිබු නියෝගයකට අනුව විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝග මත විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට බාරදුන්හ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළවම මීට පෙර අවස්ථාවක තම සේවාදායකයින්ට මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද ඇප නියම කර ඇතැයි පෙන්වා දුන්හ.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසි මත තම සේවාදායකයින් අධිකරණයේ පෙනී සිටින්නේ යැයි කී නීතීඥවරුන් එලෙස පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමටද තීරණය කළේය.
ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 05 පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයෝ දූෂිතයෝ,ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු තවත් කවර කතාද?